ලොව සුපිරිම පීස් ආර්ක් නෞකාව කොළඹට එයි


අප සාමාන්‍යයෙන් රෝහලක් ලෙස සලකන්නේ ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිලි සංකීර්ණයක්ය .

නමුත් මුහුදේ පාවෙන රෝහලක් යනු අප කාටත් අලුත් අත්දැකීමක්ය .

එවැනි රෝහල් නෞකාවක් අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වුණා.

මේ මහ සයුරේ රෝහල නම් කර ඇත්තේ පීස් ආර්ක් ලෙසයි.

සිය ලෝක චාරිකාව අතරතුර එම නෞකාව කොළඹ වරායට ළඟා වුණේ, නාවික හමුදාවේ තූර්ය වාදන පිළිගැනීමක් මධ්‍යයේයි.

මෙය ලෝකයේ දියුණුම තාක්ෂණයෙන් සමන්විත හමුදා රෝහල් නෞකාවක් ලෙස සැලකෙන චීන නාවික හමුදාවට අයත් පීස් ආර්ක් නෞකාවක්.

මේ නෞකාව නැගෙනහිර චීනයේ ශෙජියෑන්ග් පළාතේ සවුශාන් ප්‍රදේශයේ පිහිටි හමුදා වරායකින් පසුගිය ජුනි මාසයේ 16 වැනිදා යාත්‍රා කරන්න පටන් අරන් තිබෙන්නේ.

ලෝකය පුරා ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබා දීම තමයි මේ නෞකාවේ ප්‍රධානතම කාර්යභාරය.

මෙම නෞකාව මහජන චීන සමූහාණ්ඩුව විසින් නිර්මාණය කොට නිෂ්පාදනය කරන ලද්දක්.

ලෝකය පුරා ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබා දීමේ අරමුණින් යුතුව නිර්මාණය කර ඇති මෙම නෞකාව ගිලනුන්ට වෛද්‍යාධාර ලබා දීමේ සේවයට යොදවා ඇත්තේ 2008 වසරේ සිටයි.

මීටර් 178ක දිගකින් සහ මීටර් 24ක පළලින් සමන්විත වන පීස් ආර්ක් නෞකාවේ , 386 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් රාජකාරි කරනු ලබනවා.

ඉන් 106 දෙනෙකු වෛද්‍යවරුන්.

මෙම නෞකාව තුළ සායනික අංශ 17ක් සහ සහායක රෝග විනිශ්චය අංශ 05ක් ද පවතිනවා.

හදිසි අවස්ථාවකදී කඩිනමින් රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා ජලය මතුපිට යාත්‍රා කළ හැකි පරිදි හදිසි බේරා ගැනීමේ මෙහෙයුම් සඳහාද මෙම නෞකාව සතුව කුඩා යාත්‍රා 10ක් පමණ පවතිනවා.

සිය 10 වැනි මෙහෙයුම වන 2024 සමගි මෙහෙයුම අතරතුර සතියක කාලයක් සඳහා කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන පීස් ආර්ක් නෞකාව මෙම මෙහෙයුම අතරතුර රටවල් 15ක සංචාරයක් අවසන් කිරීමට නියමිතයි.

ඔවුන් අවසන් නවාතැන්පොළ ලෙස තෝරාගෙන ඇත්තේ සිංගප්පූරුවයි.

නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන සතියක කාලය තුළ මෙරට ජනතාවට, චීන ආයතනවල සේවය කරන්නන් ඇතුළු චීන ජාතිකයින්ට නොමිලයේ රෝග විනිශ්චය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා දෙනු ඇති.

LATEST NEWS