බයිනෑන්ස් මුදල් කොල්ල කෑ චීන කොල්ලකල්ලිය රිමාන්ඩ්

මෙරට ගිණුමක තිබූ ඩොලර් 30,000ක මුදලක් ඉල්ලා ගෙන එය ගෙවීමට ගෙනා රුපියල් එක්කෝටි හය ලක්ෂයක් මංකොල්ල කෑ චීන ජාතිකයන් පිරිසක් ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

මෙරට පුද්ගලයෙකුට අයත් බයිනෑන්ස් වලින් ලැබුණු ගිණුමක තිබූ ඩොලර් 30,000ක මුදල වෙනුවෙන් චීන ජාතිකයන් පිරිසක් ඔහු සමග ඇති කරගත් එකගතාවය මත ලබා දුන් එක්කෝටි හය ලක්ෂයක මුදල කොල්ලුපිටිය සාප්පු සංකීර්ණයකදී කොල්ල කෑ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතිකයන් සිව් දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ප්‍රධාන සැකකාරිය සහ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමූහ මංකොල්ල අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

පැමිණිලිකරුගේ ගිණුමක තිබූ ඩොලර් 30,000ක මුදල ලබා දෙන ලෙසත්, එක් ඩොලරයකට රුපියල් 352 බැගින් ගෙවන බවත් ගිවිසගෙන ඩොලර් 30,000 ලබා ගැනීමෙන් අනතුරුව ඊට අදාළ මුදල් එම පුද්ගලයා වෙත ලබා දී නැවත ඔවුන් විසින්ම අදාළ සාප්පු සංර්ණයේදීම මංකොල්ල කා ඇති බවටත්, සිදු කළ විමර්ශන අනාවරණය කර ගෙන තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළා.

LATEST NEWS