ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය නිමල් සිරිපාල ද සිල්වාට

මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

සිය නීතිඥවරයා මාර්ගයෙන් හිටපු ජනාධිපතිවරයා දැනුම් දුන්නේ, වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් ඔහු විරුද්ධත්වයක් නොදක්වන බවයි.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා සමථයකට පත් කෙරුණි.

පෙත්සම ගොනු කර තිබුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින්.

පෙත්සම්කාර මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා සිය පෙත්සම තුළින් අවධාරණය කර තිබුණේ, මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී, ඔහු එම ධුරයේ කටයුතු කිරීම හරහා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ බී. ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිය.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනි සිටිමින්, සිය සේවාදායකයාගේ එකඟතා දැනුම් දෙමින්, මෙම පෙත්සම සමථයකට පත් කිරීමට හැකියාව තිබෙන බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අවස්ථාවේ දී  පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ සිය සේවාදාකයා ද ඊට එකඟ වන බවයි.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම සමථයකට පත් කරමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දුන්නේ ය.

LATEST NEWS