අධිකරණ ඇමතිගේ ආචාර්ය පදවියට විස්තර දුන්නේ සභානායක කාර්යාලයෙන් – සාගර කාරියවසම්


පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියෙන් තිබූ ආචාර්ය පදවියට අදාළ විස්තර සපයා ඇත්තේ, පාර්ලිමේන්තු සභානායක කාර්යාලයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සභානායක කාර්යාලයෙන් නිකුත් වූ ලිපියක් උපුටා දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් අද (23) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් පිළිබඳව සඳහන් වීම සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂණ නානායක්කාර පසුගිය 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

තමන් කිසිදු අයුරකින් ආචාර්ය පදවියක් තම නම ඉදිරියෙන් භාවිත නොකළ බවත් එය කිසියම් පිරිසක් සැලසුම් සහගතව තමන් සහ තම දේශපාලන ව්‍යාපාරය අපහසුතාවට පත් කිරීම සඳහා කළ අසාර්ථක උත්සහයක් බවත් අධිකරණ අමාත්‍යවරයා එහිදී පවසා තිබුණා.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තිබූ අතර, ඒ අනුව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම්වරයා, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත්තා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදත් අදහස් පළ කළා.

LATEST NEWS