ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි


ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 වැනි වියෙහි පසු වූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවයි පවුලේ ආරංචි මාර්ග පැවසුවේ.

චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස “හරියනකොට ඔහොම තමයි” චිත්‍රපටය හරහා සිනමා ගීත ගායනයට පිවිසෙන ඔහු, “සෙලීනගේ වලව්ව”, “මල් කැකුළු”, “සිකුරු දසාව” සහ “ඈතිත් ඈතට” වැනි චිත්‍රපට කිහිපයකටම ගීත ගායනයෙන් දායක වී තිබෙනවා.

මෙම ගීත අතරින් “ඈතින් ඈතට” චිත්‍රපටය සඳහා මිල්ටන් මල්ලවාරච්චි සමග ගැයූ “කැන්ඳන් යන්නම් රන් මල් මාලා දාලා” ගීතය හරහා ඔහු අතිශය ජනාදරයට පත් වුණා.

මේ අතර ඔහු ගායනා කළ ගී අතරින්, “මට වාසනා”, “මගේ ළමැද සුව යහනක්”, “රටකින් එහා”, “ඇසුරින් මිදීලා”, “ඈත රන් විමන්”, “ආදරණීය නේරංජනා”, මගෙ සමරුම් පොතේ”, “හිරු ද මුවාවි”, ” සුදු පරෙවි රෑන සේ”, “සඳ තාරකා හඬාවි”, “ලිහිනින් රෑන පියාසලන්නේ”, “අඳුර අඳුර මගේ”, “හෙට දවසේ අප දෙදෙනා” වැනි ගීත ප්‍රේක්ෂක ආදරය වැඩි වශයෙන් දිනා ගත් ඒවායි.

1952 ඔක්තෝබර් 27 වැනි දා නාත්තන්ඩිය ප්‍රදේශයේ උපත ලද ඔහුගේ පියා වන එම්එල් ඩී ජෙමිස් ලියනගේ කවියෙක්.

තිදෙනෙකුගෙන් යුත් පවුලක එකම පුත්‍රයා වූ ඔහු නාත්තන්ඩිය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් ඔහු ද්විතියික අධ්‍යාපනය හදාරා තිබෙනවා.

උසස් පෙළ විභාගයෙන් පසුව ‘හේවුඩ්’ රජයේ සංගීත විද්‍යාලයෙන් පවත්වන බාහිර විභාගවලට පෙනී සිටි ඔහු, සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්තා.

අනතුරුව 1971 වසරේ දී කැලණිය ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු අනතුරුව කළුබෝවිල විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස වැඩ බාර ගනු ලැබුවා.

පසුව දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කිරීමෙන් පසු වසර 10ක සිය ගුරු වෘත්තිය නිම කළ අතර ඉන් පසු ඔහු වෘත්තිය ගායකයෙකු ලෙස කටයුතු කළා.

ප්‍රියදර්ශ සූරියසේන ලියනගේ නම් ඔහු පසුව ‘ප්‍රියා සූරියසේන’ ලෙසින් සිය නම කෙටි කර ගත් අතර, විජය රාමනායකගේ තරංගා ලේබලය යටතේ සිය පළමු කැසට් පටය නිකුත් කළා.

ඔහුගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලබන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

LATEST NEWS