අපේක්ෂා රෝහලේ වාට්ටුව සෑදූ කතරගම බස්නායක නිලමේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටුව සෑදූ කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරට එරෙහිව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් ව තිබෙනවා.
අද (04) පෙරවරුවේ දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ කාමන්ත තුෂාර මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.
පසුගිය දින කිහිපයේදී කතරගම දේවාලය මගින් අපේක්ෂා රෝහලට වාට්ටු සංකීර්ණයක් සකසා දුන් බවට පළ වූ පුවත පිළිබඳව දැඩි ආන්දෝලනයක් ඇති විය.
පැමිණිලිකාර පාර්ශ්වය පවසන්නේ කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයා එම තනතුරට නුසුදුසු බවත් ඔහුට එරෙහිව 2013 -2015 තෙක් නඩුවක් ද විභාග වූ බවයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ දී මොහු බස්නායක තනතුරට පැමිණෙන බවත්, අපේක්ෂා රෝහලට වාට්ටුවක් සෑදීම වෙනුවෙන් කතරගමට එන බැතිමතුන්ගෙන් මොහු ටිකට්පතක් මුද්‍රණය කර මුදල් එකතු කර ඇති බවත් පැමිණිලිකාර පාර්ශ්වය වැඩිදුරටත් චෝදනා කරනවා.
එම ටිකට් පත මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය ම වැරදි බවයි කාමන්ත තුෂාර මහතා පෙන්වා දෙන්නේ.
වත්මන් බස්නායක නිලමේවරයාගේ අතීතය ගෙන බැලුවහොත් හෙතෙම දූෂණ, වංචාවලින් පිරුණු අයෙක් බවත්, 2015 -2020 කාලයේ දී රුපියල් 50,000ක මුදලක් ද වංචා කර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් වන දූෂණ චෝදනා ඇතුළත් සියලුම ලිපිලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබූ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
වහාම බස්නායක නිලමේවරයාගේ වත්කම් බැරකම් සෙවිය යුතු බවත්, කතරගම දේවාලයේ භාණ්ඩාගාරය නිසි විගණනයකට ලක් කළ යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල මගින් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.