ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියකගේ ස්වාමිපුරුෂයා අබිරහස් ලෙස ජීවිතක්ෂයට


ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනි ශ්‍රියානි විජේසිංහගේ ස්වාමිපුරුෂයා දෙහිවල ප්‍රදේශයේ නිවසක වත්තක සිහිසුන්ව වැටී සිටියදී දෙහිවල පොලිසිය විසින් කළුබෝවිල රෝහලට භාරදී ඇති අතර පසුව ඔහු මියගොස් තිබෙනවා.

තම ස්වාමිපුරුෂයාගේ මරණය අබිරහසක් බවත් ස්වාමිපුරුෂයාට කිසියම් පිරිසක් පහරදී මෙලෙස ඝාතන කරන්නට ඇතැයි තමන් සැක කරන බවත් මාධ්‍යවේදිනී ශ්‍රියාණි විජේසිංහ හිරු කළ විමසුමකදී සඳහන් කළා.

ව්‍යාපාරිකයෙකු වන ඔහු මෙම ජනවාරි පළමුදා රාත්‍රීයේ මිතුරන් කිහප දෙනෙකු හමු වීමට සිය දෙහිවල පිහිටි නිවසින් ගොස් ඇති අතර පසුව ඔහු නැවත නිවසට එමින් සිටියදී අතර මග පිහිටි, හිටපු ගුවන් හමුදා නිලධාරියෙකුගේ නිවසක වත්තක මෙලෙස අබිරහස් ලෙස වැටී සිහිසුන්ව සිට තිබෙනවා.

දෙහිවල පොලිසිය සඳහන් කරන්නේ තමන්ට ලද පොලිස් හදිසි ඇමතුම් පණිවිඩයකට අනුව මෙම සිද්ධිය වාර්තා වෙන නිවාස වෙත ගිය බව යි.

එහිදී අදාළ පුද්ගලයා වත්තේ වැටී සිටි බවත් ඔහුට අසූචි පිටවී තිබු බවත් දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

ඉන්පසු පොලිසිය විසින් ගිලන් රථයක් ගෙන්වා එම පුද්ගයලා අලුයම් කාලයේ කළුබෝවිල රෝහලට භාරදුන් බවත් අදාළ පුද්ගලයාට පහරදීමක් කර තිබේදැයි සෙවීමට පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ස්ථානාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

දේහය දැනට කළුබෝවිල රෝහලේ තැන්පත්කර ඇති අතර මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

LATEST NEWS