සලෝචන ගමගේට අදාල නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලීමක්


රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුකරය වෙනත් අධිකරණයට මාරු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අධිකරණ සේවා කොමිසමින් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ලිඛිතව යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සළෝචන ගමගේ සිය සහෝදරයකු වන අතර, එම නඩුකරය තම අධිකරණයට විමසීමට හැකියාවක් නොමැති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම ලිපියේ පෙන්වාදී තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව විභාග කිරීම සඳහා සුදුසු මහේස්ත්‍රාත්වරයකු පත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගනු ලැබූ ඉඩමකට අදාළ වන්දිය කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ අනුවක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකදී සළෝචන ගමගේ සහ තවත් පුද්ගලයෙකු ඉකුත්දා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

LATEST NEWS