සියලුම බැංකු ගිණුම්වලින් 10%ක රැඳවුම් බද්ද කැපෙයි
සියයට 10 රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් කපා ගන්නා බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.
එසේ කපා ගත්තත් බදු නොගෙවිය යුතු අයට එම මුදල් නැවත ලබාදෙන යාන්ත්‍රණය රජය විසින් ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එවැනි යාන්ත්‍රණයක් සෑදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවත් ඒ සහනය ලබාගන්නා ක්‍රමවේදය සකසන බවත් බදු නොගෙවිය යුතු අයට මේ සියයට 10ක රැඳවුම් බද්ද කපා ගැනීමෙන් අසාධාරණයක් වීමට ඉඩ නොතියන බවට සහතික වන බවත් හෙතෙම කියා සිටියේය.
මේ අනුව රු. 100ක මාසික පොලී ආදායමක් ලැබුණත් බැංකුවලින් සියයට 10ක රැඳවුම් බද්දක් කපා ගන්නා නිසා අදාළ මුදල නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ලබා ගැනීමට බස් ගාස්තු වශයෙන්ම ඊට වැඩි මුදලක් දැරීමට සිදුවෙනවා නොවේදැයි මෙහිදී මාධ්‍යවේදීන් ඇමැති ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු සඳහන් කළේ ඉදිරියේදී ඒ සියල්ලටම උත්තරය ගෙනෙන බවයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ රැඳවුම් බද්ද සියයට 5 සිට 10 ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවයි.