ආචාර්ය පට්ටම් ගැන අහන්න CIDයට කැඳවන පාර්ලිමේන්තු නිලධාරීන්

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධීකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව යි.
නව රජයේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව පසුගිය කාලයේ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වූ අතර හිටපු කථානායක අසෝක රන්වලට තම ආචාර්ය පදවිය තහවුරු කිරීමට නොහැකි වීම හමුවේ කථානායක ධුරයෙන් ඉවත් වීමටද සිදුවූණා.
එවැනි වාතාවරණයක් යටතේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ ආචාර්ය පදවිය පිළිබඳවත් ඇති වූයේ ආන්දෝලනාත්මක තත්ත්වයක්.
එය තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවු වරදක් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.
පසුව පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් හර්ෂණ නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් වූ ආචාර්ය පදවිය ඉවත් කිරීමටයි කටයුතු කෙරුණේ.
කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යවරයා ඉකුත් 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළා.
එම විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 22දා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් 6 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
ඊයේ පාර්ලිමේන්තුවේ තවත් නිලධාරියෙකු සහ නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර ඔවුන්ගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 08 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තු වෙබි අඩවියේ සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කර යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට සිදුකර අවසන් බවයි.