අධ්‍යාපනය සම්බන්ධ තීරණ ගන්නේ අධ්‍යාපන ඇමතිනියද? කම්කරු ඇමති මහින්දද? පැහැදිලි කරමින් විශේෂ නිවේදනයක්!

“අධ්‍යාපන ඇමති ලෙස හරිනි නිකුත් කළ ගැසට් දෙකම මහින්ද ජයසිංහ ආපසු හරවයි” යන මැයෙන් පළ වූ පුවත් සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍යංශය විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින්, එම අමාත්‍යංශය සඳහන් කළේ, එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

ගුරු කාර්යක්ෂමතා කඩඉම් වෙනුවෙන් පවත්වනු ලබන මොඩියුල් පිළිබඳ පසුගියදා චක්‍රලේඛනයක් නිකුත් කර තිබුණේ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක විසින්.

එය විෂය භාර ඇමතිනිය වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ කිසිදු අනුදැනුමකින් තොරව සිදු කළ බවයි, කම්කරු නියෝජ්‍ය අමාත්‍යංශය අවධාරණය කළේ.

එමෙන්ම බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට සිය පාසලේ ළමුන් වෙනුවෙන් මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් ද චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ කිසිදු අනුදැනුමකින් තොරව බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම ගැටලුවට මැදිහත් වූයේ ඉතා දීර්ඝ කාලයක් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

LATEST NEWS