මීගොඩදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අපරාධය සිදුකිරීමට අධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ ය. සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු සමග පැමිණි අයෙකු ද, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වෙයි.
පොලිසිය පැවසුවේ, ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු සහ ආධාර අනුබල දුන් සැකකරුවෙකු පසුගිය 19 වැනිදා අත්අඩංගුවට ගත් බවයි.
ඒ, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ය. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු මත ඊයේ පස්වරුවේ මෙම සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් 22, 26 හා 38 යන වයස්වල පසුවන පාදුක්ක හා මීගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. පසුගිය 14 වැනිදා රාත්‍රියේ බිරිඳ සහ දරුවා සමග සහෝදරයෙකුගේ නිවසේ පැවති සාදයකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී එලෙස ඝාතනයට ලක්වූයේ 32 හැවිරිදි පුද්ගලයෙකි.
මංගල සාදයකදී මීට වසරකට පෙර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය පවසයි.