වෛද්‍යවරයෙකු ලෙස වෙස්වලා ගත් අයෙක් කාන්තාවකගේ රන් ආභරණ කොල්ලකයි
වෛද්‍යවරයෙකු ලෙස වෙස්වලා ගත් හෙද සහයකයෙකු රෝගියෙකු බැලීමට කොළඹ ජාතික රෝහලට පැමිණි කාන්තාවකගේ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා රන් ආභරණ කොල්ල කා පළා ගොස් තිබෙනවා.
අදාළ රෝගියාට ලේ ලබාදිය යුතු බව පවසා සැකකාර හෙද සහයකයා එම කාන්තාවගේ රන් ආභරණ ගලවා දෙන ලෙස පවසා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මරදාන පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය 31 වැනිදා කාන්තාවක් සිය නැගණිය සමග දහවල් රෝගීන් බලන වේලාවේදී කොළඹ ජාතික රෝහලට පැමිණ තිබුනේ නේවාසිකව ප්‍රතිකාර ලබන තම මව බැලීම සඳහායි.
සුළුවේලාවකින් වෙද නලාව ද පැළඳ වෛද්‍යවරයෙකු ලෙස පැමිණි පුද්ගලයෙක් රෝගී කාන්තාවගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර රෝගියාට ලේ අවශ්‍ය බව පවසා තිබෙනවා.
පසුව මෙම කාන්තාව ද කැටුව 56 වාට්ටුව දෙසට ගොස් රන් ආභරණ ගලවා දෙන ලෙසයි දන්වා ඇත්තේ.
ජාතික රෝහලේ ආරක්ෂක අංශ ද පෙර සිදු වු මෙවන් සොරකම් සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඇති අතර ඒවා සිදුකරන්නේ හෙද සහයකයෙකු බව ඔවුන් හඳුනාගෙන තිබෙනවා.
සැකකාර හෙද සහයකයා අදාල අවස්ථාවේ කලබලයෙන් පළා යන විට ආරක්ෂක අංශ විසින් ඔහුව නවතා ගැනීමට තැත් කරන වීඩියෝවක් ද ඔවුන් විසින් රැගෙන තිබුණා.
අදාල රන් භාණ්ඩ සොරකම් සම්බන්ධයෙන් මරදාන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත්තා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.