ප්‍රබල මාලිමා මන්ත්‍රීවරයෙකුගේ නිවසක් සොරුන් බිඳියි

ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ අත්කම් නිවාස සංකීර්ණය පිහිටි නිවස සොරු බිඳ ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
පැමිණි සොරුන් රුපියල් 25000ක මුදලක් රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් පසුගිය 02 වනදා සවස සිට එම නිවසේ සිට නැති අතර 03 වනදා පෙරවරුවේ පැමිණෙන විට නිවසේ කාමරයේ රෙදිපිලි ඇද දමා අල්මාරිය විවෘතව තබා තිබෙන අයුරු දැක තිබෙනවා.
එම අවස්ථාවේදී මුළුතැන්ගෙහි දොර සහ ජනේලයක් විවෘතව තිබෙන අයුරු වැඩිදුරටත් දැක තිබූ බව පැමිණිල්ලේ සඳහන්ය
අල්මාරිය තුළ රෙදි පිළි අතර තිබූ මුදල් මෙලෙස රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
සොරුන් මුළුතැන්ගේ ජනේලයෙන් නිවසට ඇතුළු වී සොරකමෙන් අනතුරුව දොරෙන් පිටවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන්ද සිල්වා මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.