විද්‍යුත් වාහන ආනයන මගඩිය ගැන විගණන වාර්තාවෙන් හෙළිවෙයි


විදෙස්ගත ශ්‍රමිකයින්ට බලපත්‍ර මගින් විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට පසුගිය ආණ්ඩුව දුන් අවසරය හේතුවෙන් රජයට රුපියල් මිලියන 1,384ක මුදලක් අහිමි වූ බව විගණන වාර්තාවකින් අනාවරණ කර තිබෙනවා.

අදාළ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය ආරක්ෂා කර නොතිබුණු බවත්, අභ්‍යන්තර පාලන ක්‍රමවේද බරපතළ ලෙස නොසළකා හැරීමෙන් එම යෝජනා ක්‍රමය අවභාවිත වී ඇති බවත්, විගණකාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන්.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් දිවයිනට ලැබෙන ප්‍රේෂණ ඉහළ නැංවීමේ අරමුණින් එවන ලද ප්‍රේෂණ මත පදනම්ව එම ප්‍රේෂණවලින් 50%ක උපරිමයක් දක්වා CIF වටිනාකමක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාදීමේ යෝජනා ක්‍රමයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය 2022 වසරේදී ආරම්භ කළා.

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබූ අවස්ථාවක ගත් මෙම තීරණය අනුව, විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහනයක් ආනයනයට අවස්ථාව ලබාදීමත්, ආනයනය කරන වාහනය මත අය කරන සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 6 සිට 12 දක්වා ඉහළ නැංවීමටත් තීරණය කෙරුණා.

එම තීන්දුවත් සමග 2022 සැප්තැම්බර් 22 වැනිදා සිට මෙම වසරේ ජුනි 30 වැනිදා දක්වා බලපත්‍ර 1,077ක් නිකුත් කර ඇති අතර, ඉන් අවලංගු කර ඇති බලපත් ගණන 77ක්.

වලංගු බලපත්‍ර 1,000 අතුරින් 510ක් පමණක් මෙම වසරේ ජුනි 30 වැනිදා වනවිට ආනයනය කර ඇති අතර, එදින වනවිට මෝටර් රථ කොමසාරිස් ජනරාල් කාර්යාලයේ ලියාපදිංචි කර තිබුණේ වාහන 375ක් පමණයි.

ඒ අනුව, විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළව 2022 මැයි 01 වැනිදා සිට 2023 සැප්තැම්බර් 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ යෝජනා ක්‍රමය පිළිබඳ විශේෂ විගණන වාර්තාව නිකුත් කර තිබෙනවා.

අදාළ වාර්තාවේ දැක්වෙන්නේ එම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූලික සහ අත්‍යාවශ්‍ය තොරතුරු විධිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේද යටතේ පිළිගත හැකි පරිදි ලේඛනගත කිරීමේ ක්‍රමවේදයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අනුගමනය කර නොමැති බවයි.

එමෙන්ම බලපත්‍ර නිකුත් කිරීමට අදාළව අයදුම්පත් භාරගැනීම, පරීක්ෂා කිරීම, බලපත්‍ර නිකුත් කිරීම, අවලංගු කිරීම ඇතුළු සියලු කරුණු අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු, අක්‍රමවත් පරිදි කර තිබීම හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී බලපතළ ලෙස විනිවිදභාවය කඩකර ඇති බව ද නිරීක්ෂණය වී තිබෙනවා.

සහනදායි තීරුබදු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක රජයේ අධිකාරී ආයතනය වන මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව හෝ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී බලපත්‍ර නිකුත් කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය දී තිබූ ආනයන අපනයන පාලක වෙත එම කටයුතු පැවරීමකින් තොරව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා එම කටයුතු පවරා ගැනීම තුළින් අධිකාරී බලය අවභාවිත කිරීම හා පැවතිය යුතු යහපත් අභ්‍යන්තර පාලන ක්‍රමවේද නොසළකා හැරීමක් කර තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන්.

එමෙන්ම විගණන වාර්තාවේ දැක්වෙන්නේ, විදෙස්ගත වූ බවට තහවුරු නොවූ පුද්ගලයින් සිවු දෙදෙනෙකු වෙනුවෙන් ද අදාළ නීතිරීති රෙගුලාසි නොසළකා විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇති අතර, විදෙස්ගත නොවූ ඔවුන්ගේ ගිනුම්වලට ලක්ෂ ගණනින් ලැබී ඇති විදෙස් ප්‍රේෂ්ණ මුදල් විශුද්ධිකරණය මගින් හෝ වෙනත් අනීතික ආකාරයකින් ලද මුදල් නොවන බවට තහවුරු කර ගැනීමට ද පියවර ගෙන නොතිබූ බව නිරීක්ෂණය වූ බවයි.

එමෙන්ම දින 3 සිට මාස 3 දක්වා කෙටි කාල පරිච්ඡේද තුළ විදෙස්ගතව සිට පැමිණ පුද්ගලයින්ට හා කඩින්කඩ විදෙස්ගත වූ පුද්ගලයින් 419 දෙනෙකු සඳහා ද මෙම බලපත්‍ර නිකුත් කර ඇති බවත් එහි සඳහන්.

එමෙන්ම නිකුත් කළ බලපත්‍රවලින් 64%ක් සංක්‍රමණික සේවා සඳහා පහසුකම් සැපයීමට ලියාපදිංචි කර ඇති ආයතන 31න් 2කට පමණක් ලබා දී ඇති බව ද විගණන වාර්තවෙන් අනාවරණ කර තිබෙනවා.

ඒ අනුව, Auto Capital Investment (Pvt) Ltd බලපත්‍ර 335 ක් සඳහාත් Overland Auto Mobile බලපත්‍ර 305ක් සඳහාත් ලෙස බලපත්‍රලාභීන් 640ක් සඳහා පහසුකම් සපයා තිබූ අතර, එම බලපත්‍ර මගින් මෙරටට ආනයනය කර ලියාපදිංචි කළ වාහන 375න් 84ක් තුන්වැනි පාර්ශ්වයකට ලබා දී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන්.

එමෙන්ම මෙම පහසුකම යටතේ වාහන ගෙන්වූ ශ්‍රමිකයින් අතර නාවිකයින් 164ක්, කළමනාකරුවන් 150ක්, අධ්‍යක්ෂවරුන් 96ක්, ඉංජිනේරුවරුන් 78ක් , නිලධාරීන් 61ක් , උපදේශකයින් 24ක් , වෛද්‍යවරුන් 3ක් සහ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයෙක් ද සිටින බවට විගණන වාර්තාව අනාවරණ කරනවා.

වාහන ආනයනයේදී යම් අක්‍රමකතාවක් කර ඇත්නම් ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වවලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හා රජයට සිදුව ඇති අලාභ අයකර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විගණන වාර්තාවෙන් නිර්දේශිතයි.

LATEST NEWS