බස්නාහිර පළාතේ ටියුෂන් තහනමට නිකුත් කළ චක්‍රලේඛය රිවස් වෙයි

බස්නාහිර පළාත් ගුරුවරුන්ට සිය පාසලේ දරුවන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය අත්හිටුවා තිබෙනවා. 

ඒ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ නියෝගයක් මතයි.

එම චක්‍රලේඛය තවදුරටත් අධ්‍යයනය කර ප්‍රතිපත්තිමය තීරණයකට එළඹෙන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයේ සඳහන් බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ. 

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අධ්‍යාපනය වෙනුවෙන් ගත යුතු ඉතා වැදගත්, පරිපාලනමය තීරණ තිබියදී ඇතැම් අධ්‍යාපන බලධාරින් මෙවැනි පියවර ගැනීම ගැටළුසහගත බවයි.

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව, බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් තම පාසලේ සිසුන් සඳහා පාසල් කාලය තුළ දී මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම තහනම් බවටයි එම චක්‍රලේඛයේ දැක්වුණේ.

එමෙන්ම, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල ද විවිධ බාහිර ස්ථාන වල මුදල් අය කර තම පාසලේ සිසුන්ට අමතර පන්ති පැවැත්වීම මෙම චක්‍රලේඛය මගින් තහනම් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබූ අතර, මෙම උපදෙස් නොසලකා කටයුතු කරන ගුරුවරුන් පිළිබඳව නිසි ක්‍රියාමාගර් ගැනීමට පියවර ගත යුතු බවද එහි සඳහන්කර තිබුණා.

LATEST NEWS